කොරෝනාවෙන් බිදවැටෙන ඔබේ අධ්‍යාපනය ගොඩගන්න අපෙන් අත්වැලක්

මාර්තු මාසයේ පැමිණි කොරෝනා පළවැනි රැල්ල අගෝස්තු මුල වන තුරු රටේ පැවතීම හේතුවෙන් පාසල් මාර්තු ,අප්‍රේල් ,මැයි ,ජූනි ,ජූලි යන මාසවලදී වසා තැබිණි. සාමාන්‍යයෙන් අප්‍රියෙල් නිවාඩුවෙන් පසු දෙවෙනි වාරය සදහා අප්‍රේල් මස අග පාසල් ආරම්භ කිරීම සාමාන්‍ය තත්ත්වය වුව ද කොරෝනා වසංගතය හේතුවෙන් පාසල් නැවත ආරම්භ කෙරුණේ අගෝස්තු මාසයේදීය. නමුත් කොරෝනා වෛරසය පැතිරීම යළි හිස එසවීමත් සමග නැවතත් ඔක්තෝබර් මාසයේ සිට පාසල් වසා දැමිණි. නමුත් බොහෝ පාසල් විසින් ළමුන්ට දුරස්ථව අන්තර්ජාලය හරහා ඉගැන්වීමට පටන්ගෙන තිබුණ ද සමහර පාසල් වලට අන්තර්ජාලය හරහා ඉගැන්වීම් කිරීමට පටන් ගැනීමම අභියෝගයක් වුණි.

ගෝලීය කොරෝනා වසංගතය සමග පෙර පාසල් අධ්‍යාපනයේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා සිසු පරපුරට එල්ලවී ඇති අභියෝග බොහෝය. ඇතැම් සිසුන් අන්තර්ජාල අධ්‍යාපනයට පිවිස සිටින නමුත් එම වරප්‍රසාදය සැම දෙනාටම එක සේ භුක්ති විඳිය නොහැකිය. සිසුන් පුද්ගලිකව අන්තර්ජාල අධ්‍යාපනයට යොමු වීම කෙරෙහි ඔවුන්ගේ ආර්ථික හා සමාජ මට්ටමද බලපාන අතර විශේෂයෙන් පාසල් අධ්‍යාපනයේදී ඔන්ලයින් අධ්‍යාපනය තිබෙන්නේ සතුටුදායක තත්ත්වයක නොවන බවත් විශේෂයෙන් ගම්බද පාසල් වල සහ නගර වලින් පිට බොහෝ පාසල් වල මෙම තත්ත්වය සුලබ බවත් විශ්ලේෂකයෝ පවසති. බොහෝ ගුරුවරු පුද්ගලිකව ඉගැන්වීම් කටයුතු අන්තර්ජාලය හරහා සිදුකරන නමුත් ඊට අදාල ගාස්තු ගෙවා ගත හැක්කේ ඉතා සුළු පිරිසකට පමණි. ඒ නිසා බොහෝ දරුවන් දැඩි පීඩනයකට පත්ව සිටින අතර අන්තර්ජාලය හරහා බොහෝ පාඩම් ඉගෙනගත හැකි වුවත් ඒ අතර නොමිලේ සේවාව ලබා ගත හැකි ඒවා පවතින්නේ ඉතා අවම වශයෙනි.මෙය ඉතා විශාල ගැටලුවක් වන්නේ අධ්‍යාපනය කෙරෙහි අහිතකර බලපෑමක් එල්ල වීම හේතුවෙන් අඩාළ වන්නේ මේ මොහොත පමණක් නොවේ. එහි ප්‍රතිඵල දිගුකාලීන වේ. අනාගතය අස්ථාවර වන්නට, අධ්‍යාපනය අඩාළ වීමෙන් සිදු වන බලපෑම අන් සියල්ලටම වඩා සාපේක්ෂව වැඩි ප්‍රතිශතයක් ගනියි. මෙම තත්ත්වය ඉතා විශාල ගැටලුවක් වුනත් සුළු වශයෙන් හෝ අපට හැකි අයුරින් ඊට විසදුමක් ලබා දිය හැකි නම් එය මේ අවස්තාවේ හැටියට ඉතා වටිනා දෙයකි. සමාජයට ධනාත්මක බලපෑමක් ලබා දිය හැකි ව්‍යාපෘතියක් කිරීමට අපට අවස්තාවක් ලැබී ඇති මේ මොහොතේ රටට වඩාත් කාලීන ගැටලුවක් වී ඇති මෙයට විසදුමක් ලෙස PaathShaala නමින් එක්ව කොරෝනා වසංගතය හමුවේ තම අධ්‍යාපන කටයුතු කරගත නොහැකි වූ සිසුන්ට අත්වැලක් වීමට අපි තීරණය කළෙමු. ඒ අනුව මේ වසරේ මාර්තු මාසයේ අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දෙන නංගිලා මල්ලිලාට අන්තර්ජාලය ඔස්සේ 100% ක් නොමිලේ අධ්‍යාපනය ලබාදීමටත් , අපගේ වෙබ් පිටුව ඔස්සේ අවශ්‍ය ප්‍රශ්න පත්‍ර ලබා ගැනීමටත් හැකි වේ. තවද, විභාගය නිසා ඇතිවන ආතතිය වැනි ඕනෑම අවස්තාවක ක්ෂණිකව අපවෙත කතාකිරීමටත් ඔවුන්ට හැකිවනු ඇත.

තවද කොරෝනා වයිරස ව්‍යාප්තිය වැඩි වීම හේතුවෙන් ආර්ථික බිඳ වැටීම වැනි ප්‍රායෝගික ගැටලු අබියස වැඩිහිටියන්ට සාපේක්ෂව කුඩා දරුවන්ගේ මානසික ආතතිය වැඩි අගයකින් ඉහළ ගොස් තිබේ. රැකියා කටයුතු සඳහා හෝ නිවෙසේ එදිනෙදා අවශ්‍යතා සඳහා ඉතා කලාතුරකින් හෝ නිවෙසෙන් පිට වීමට වැඩිහිටියන්ට අවස්ථාවක් හිමි වේ. කාලය ගෙවා දැමීම සඳහා විවිධාකාර ක්‍රමවේදයන් වැඩිහිටියන් සතුව තිබුණ ද දරුවෝ මුළුමනින්ම පාහේ නිවෙස්වලට කොටු වී සිටිති . අහල පහළ දරුවන් සමඟ එකට මුසු වීමට ඇති අවස්ථාව පවා දරුවන්ට අහිමි වී තිබෙනවා විය හැකිය. මෙවැනි වාතාවරණයකදී ඔවුන් දැඩි මානසික පීඩාවකට පත් වී සිටින බව ඔවුන්ගේ ඇතැම් හැසිරීම් තුළින් මනාව පිළිබිඹු වේ. පවතින වාතාවරණය තුළ සියල්ලන්ටම වඩා දැඩි පීඩනයක සිටින දරුවන්ට, අධ්‍යාපනය ලබාදීමට උත්සාහ දැරීම ඉතා සීරුවෙන් කළ යුතු කටයුත්තක් වන්නේ, ඒ තුළින් ද ඔවුන් තව තවත් පීඩාවට පත් විය හැකි බැවිනි. අන්තර්ජාලය හරහා කුඩා දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සාර්ථක ක්‍රමයක් නොවන්නේ එබැවිනි. මීට පිළියමක් ලෙස PaathShaala අපි කුඩා දරුවන්ගේ මානසික මට්ටම නගා සිටුවීමට ඔවුන් සමග ඉතා සරල ක්‍රියාකාරකම් කිරීමේ වැඩපිළිවෙළක්ද සංවිධානය කර ඇත. ඉතා කුඩා දරුවකුට, තමාට අසන්නට සහ දකින්නට ලැබෙන දේ චිත්‍රයට නඟන්න ට අවස්ථාව ලබාදීම මඟින් දරුවාගේ පරිකල්පන හැකියාව සහ හසුරු කුසලතා දියුණු කළ හැකි වේ. නිර්මාණ සහ අත්වැඩ කිරීම තුළින් කුඩා දරුවන්ගේ කුසලතා සංවර්ධනය කළ හැකි අතර විධිමත් අධ්‍යාපනය හදාරන වයසේ දරුවන්ට ඔවුන්ගේ විෂය නිර්දේශයට අදාළ ක්‍රියාකාරකම් කරන්නට අවස්ථාව ලබා දීමද අප විසින් සිදු කරයි.

ඊට අමතරව අප විසින් මෙම ව්‍යාපෘතිය හරහා සිදු කරන තවත් එක් සමාජ මෙහෙවරක් නම්, මේ මොහොතේ තම දෙමාපියන්ට රැකියා අහිමි වීම වැනි හේතු මත ඉතා දැඩි ආර්ථික අපහසුතාවයන්ට පත්ව සිටින දරුවන්ට අවශ්‍ය පාසල් උපකරණ පරිත්‍යාග කිරීමයි.

මෙම සියලු දේ කිරීම මගින් අපි බලාපොරොත්තු වන්නේ මෙම කොරෝනා ව්‍යවසනය හමුවේ බලපෑමට ලක්වී සිටින දරුවන්ට ඔවුන්ගේ අධ්‍යාපනයට අවශ්‍ය මග පෙන්වා ඔවුන්ට ශක්තියක් වීමයි.


Leave Comment on this post





Girl in a jacket    0 Comments